WandaVision හයවෙනි කතාංගයටත් ආවා එහෙනම්. හතරවෙනි කතාංගය තනිකරම සැබෑ යථාර්තයට සම්බන්ධ වුණත්, අපිට ආපහු පස්වෙනි කොටසින් වොන්ඩාගේ යථාර්තයේ සිට්කොම් කතාව දකින්න ලැබුණා වගේම සැබෑ යථාර්තයේ සිදු වීමුත් දකින්න ලැබුණා. පහුගිය කතාවෙ සිට්කොම් සිදුවීම් 1980 ගණන්වල කාලයේ දුවන කතාවක් විදිහට තමයි සකස් වෙලා තිබුණේ. තුන්වෙනි කොටසින් පස්සේ ඔන්න නැවතත් අපිට වෙනස් විදිහක වෙළඳ දැන්වීමක් දකින්න ලැබුණා. ලාගෝස් කඩදහි තුවා දැන්වීමක් තමයි ඒ.
එහෙනම් අපි පසුගිය කොටස කතාව ගැන කෙටියෙන් මතක් කරගමු.
වොන්ඩා-විෂන් ජෝඩුව අලුත උපන් බබාලා දෙන්නා ටොමීගෙයි බිලීගෙයි ඇඬිල්ල නවත්තලා නළවගන්න දරන උත්සහයෙන් තමයි කතාව පටන්ගන්නේ. මේ වෙලාවෙ ඇග්නස් ඇවිල්ලා බබාලව නළවන්න උදව් කරන්න උත්සහ කරනවා, හැබැයි ඒ වෙලාවෙ ඇග්නස්ගේ අමුතු හැසිරීම සහ දෙබස් විෂන්ට ප්‍රශ්ණයක් වෙනවා. අපි දන්නවානෙ ඇයි මෙච්චර හිනා යන දේවල් සිද්ධ වෙන්නෙ කියලා. මොකද මේක සිට්කොම් එකක්. ඉතින් ඒ පිටපතට අනුව තමයි දේවල් සිද්ධ වෙන්නේ. හැබැයි විෂන්ට මේකේ ගැටළුවක් තියෙන බව තේරෙනවා. හැබැයි ඉතින් වැඩි වෙලාවක් බබාලාව නළවන්න ඕණ වෙන්නෙ නෑ ටොමීයි බිලීයි එක පාරට අවුරුදු 5ක ළමයි බවට වයසින් වැඩෙනවා.
ඔන්න ඊට පස්සේ බල්ලෙක්වත් හදාගන්න තමයි මේ කොල්ලො දෙන්නා හදන්නේ, ඇග්නස් බලු පැටියාට කූඩුවක් එහෙමත් ගෙනත් දීලා ඌට ස්පාකි කියන නම දාන්න උදව් කරනවා. හැබැයි වොන්ඩායි විෂනුයි කියනවා එයාලට වයස මදි කියලා බල්ලො බලාගන්න, ඒකට එයාලා අවුරුදු 10ක්වත් වෙන්න ඕණ කියලා. එතකොට මේ නිවුන්නු දෙන්නා තව අවුරුදු 5කින් වයසට යනවා. ඊට පස්සෙ ඉතින් අවසර දෙනවා ඇරෙන්න මොනා කරන්නද? 😀
ඉතින් ඊට පස්සේ විෂන් වැඩපළට ගියාම දකිනවා ස්වෝඩ් එකෙන් ඊමේල් එකක් ඇවිල්ලා කියලා වෙස්ට්වීව්වල තත්වය ගැන කියලා. මේක දැක්කාම විෂන් ගොඩක් අවුල් යනවා. එයා නෝම්ව වොන්ඩාගේ පාලනයෙන් මුදවලා එයා එක්ක කතා කරලා බලනවා. එයා දැනගන්නවා ඒ පුද්ගලයා කොච්චර බයෙන් සහ වේදනාවෙන්ද ඉන්නෙ කියලා. විෂන් තේරුම්ගන්නවා වොන්ඩා මේ නගරයම පාලනය කරනවා කියලා.
ඒ අල්ලපනැල්ලේ සැබෑ යථාර්තයේ, හේවර්ඩ් පොඩි රැස්වීමක් කැඳවලා කියනවා වොන්ඩා කියන්නේ මුලු නගරයකම මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට තියාගෙන ඉන්න ත්‍රස්තවාදියෙක් කියලා. නමුත් මොනිකා නම් මේකට එකඟ වෙන්නේ නෑ. ඇය කියන්නේ එහෙම වුණානම් වොන්ඩාට සීමා කරගත්තු කලාපයක් තියෙන්නෙ නෑ කියලා. ඒ වගේම වොන්ඩා ඇගේ යථාර්තයෙන් තමාව නෙරපුව වෙලාවෙ තමන්ගේ ජීවිතේ බේරුනෙත් වොන්ඩා තමන්ට අනතුරක් නොකරන්න තීරණය කරපු නිසා කියලා මොනිකා කියනවා. ඒ නිසා වොන්ඩා හිතාමතා කලබලයක් ඇති කරන වුවමනාවෙන් මෙහෙම කරන්නෙ නෑ කියලා ඒත්තු ගන්වන්න මොනිකා උත්සහ කරනවා. හැබැයි මේ වෙලාවේ තමයි හේවර්ඩ් පෙන්නන්නේ වොන්ඩා විසින් ඊට දින නමයකට කලින් ස්වෝඩ් එකට කඩං පැනලා අතිශය රහසිගතව ස්ථානගත කරලා තිබුණු විෂන්ගේ සිරුර හොරකම් කරපු දර්ශන පෙළ. මේක සොකෝවියා සම්මුතිය ඍජුවම කඩ කිරීමක් වගේම විෂන්ගේ කැමැත්ත උල්ලංඝනයක්. මේ රැස්වීමෙදි කතා වුණ, නයිජීරියාවේ ලාගෝස් නුවරේ සිදු වීමෙන් ඔයාලාට Captain America: Civil War මතක් වෙන්න ඇති. වොන්ඩාගේ අතින් ලොකු විනාශයක් වෙනවා ලාගෝස් නුවරදි. මේ කතාංගයේ ඇතුළත් වුණු ව්‍යාජ වෙළඳ දැන්වීමත් නම් වුණේ ලාගෝස් නමින්. ඔයාලා යම් සම්බන්ධයක් දකියි ඒ දැන්වීමේ අවසන් වචන පේළියෙයි, ඒ සිවිල් වෝ සිදු වීමෙයි.
හේවර්ඩ්, පියෙත්‍රෝ සහ වොන්ඩා ගැන කතා වෙද්දි හයිඩ්‍රා එක ඔවුන්ව ස්වෙච්ඡා සේවයට අරගෙන විප්ලවවාදීන් කරපු එක බොහොම ඉක්මනින් ලිස්සලා යවන්න හැදුවා කියලා මට හිතෙනවා. තාමත් මට තියෙන සැකය මිනිහා හයිඩ්‍රා එකට සම්බන්ධ කෙනෙක්ද කියන එකයි. හැබැයි ඉතින් ජිමී තොරතුරු ටික කියනවා මෙතනදි. හයිඩ්‍රා එකෙන් කිසිම පැහැදිලිකිරිමක් නොකර කරපු අත්හදාබැලීම් නිසා ඔවුන්ට බලයන් ලැබුණා කියලා කියනවා. හැබැයි ඔහු උත්සහ කරනවා වොන්ඩා ගැන වැරැද්දක් නොකියා ඉන්න වගබලාගන්න. මේ ගැන ජිමී ඩාසිට කීවම මම කියන්නම්කො ඔයාට බැරිනම් කියලා ජිමී එක්ක හේවර්ඩ්කාරයාට ඩාසි හොඳවයින් දෙයක් කියනවා. 😛 ඩාසි “හේවර්ඩ් කියන්නේ ප…” කියද්දිම හේවර්ඩ් කියනවා “….ත්රස්තවාදීන්.” ඔන්න ඔය දෙබස් දෙකේ මට මොකක්දෝ සම්බන්ධයක් පෙණුනාදෝ කියලා හිතෙනවා. හේවර්ඩ් ත්‍රස්තවාදී? අනේ මන්දා ඉතින් නේද ඕවා කතාව බලලම ලිහාගමු පුද්ගලික මත විමසුම් නැතුව. 🙂
මේ අතරේ අපේ සැබෑ යථාර්තයේ, ආචාර්ය ඩාසි ලුවිස් වොන්ඩාගේ යථාර්තයේ ඇති හැඩය ෂඩාශ්රයක්, ඉංග්‍රීසියෙන් හෙක්සාගන් එකක් වගේ නිසා ඒකට හෙක්ස් කියන නම පාවිච්චි කළා. මොනිකා හොයාගන්නවා වොන්ඩා විසින් යථාර්තය නැවත ලියනු ලබන බව, ඒ වගේම හෙක්ස් එකට යවන දේවල් වෙනස් වෙන්නේ කාලයට නොගැළපෙන නිසා බව. ඉතින් මොනිකාගේ අදහස මත ස්වෝඩ් එක විසින් 80 ගණන්වල තාක්ෂණය සහිත ඩ්‍රෝනයක් එවනවා වෙස්ට්වීව් නගරෙට. හැබැයි හේවර්ඩ් මොනිකාව ගොනාට අන්දලා වොන්ඩාව මරන්නයි හැදුවේ. වොන්ඩා හෙක්ස් එකෙන් එළියට ඇවිල්ලා හේවර්ඩ්ට අනතුරු අඟවනවා එයාට පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඒ ඩ්‍රෝන් එකට බය වෙලා ස්පාකි ගෙදරින් පැනලා යනවා. පස්සේ ඌ විෂ ශාකයක් කාලා මිය ගිහින් කියලා අපිට දකින්න පුලුවන් වුණා. ඒක දැකලා අපේ ටොමී, බිලී නිවුන්නු දෙන්නා ආපහු වයසින් වැඩෙන්න හදනවා. එතකොට වොන්ඩා කියන්නේ ඔය හැඟීමෙන් පැනලා යන්න එපා කියලයි. (කකුළුවා පැටවුන්ට කෙලින් යන්න කියලා දෙනවාවත්ද කියලයි හිතුණෙ මට 😛 ) ස්පාකිට පණ දෙන්න කියලා නිවුන්නු, වොන්ඩාගෙන් ඉල්ලුවත් ජීවිතයට යම් නීති ඇති බව වොන්ඩා ඔවුන්ට කියලා දෙනවා. මේකෙන් මට හිතෙන්නෙනම් වොන්ඩාට මැරුණු කෙනෙක්ට පණ දෙන්න හැකියාවක් නැතුව ඇති කියලයි. විෂන් කියන්නේ සින්තොසොයිඩ් කෙනෙක් නිසාත්, ඒ කෘතිම බුද්ධිය මිය නොයන නිසාත් වොන්ඩාට ඔහුට පණ දෙන්න පුලුවන් වෙන්න ඇත්තේ.
විෂන් ගෙදර ඇවිල්ලා වොන්ඩාගෙන් අහනවා ඇත්තටම එයා මොනවද කරන්නේ කියලා. හැබැයි වොන්ඩා ඒ කිසි දෙයක් පිළිගන්නෙ නෑ. මේ කතාබහට බාධා කරමින් ගෙදරට කවුරුහරි තට්ටු කරනවා. විෂන් හිතන්නේ ඒකත් වොන්ඩාගේම වැඩක් කියල. කවුරුත් නොහිතපු විදිහට ඇවිත් තිබුණේ පියෙත්‍රෝ. හැබැයි අපි Avengers: Age of Ultron තුළින් දැකපු පියෙත්‍රෝ (Aaron Taylor-Johnson) නෙමෙයි. මේ කෙනා තමයි Foxලාගේ X-Men විශ්වයේ හිටපු කෙනා. (Evan Peters) අපි දන්නෙ නෑ මේක වොන්ඩා-විෂන් කතාවට කොහොම සම්බන්ධ වෙනවද කියලා, ඒ කිව්වේ මේ එක්ස් මෙන් විශ්වයේ පීටර් මැක්සිමොෆ්මද කියලා හරියටම ෂුවර් කරන්න බෑ කියන එකයි. ඒක හරියටම තහවුරු වෙනකල් අපිට නිගමනයකට එන්න බෑ ඒ ගැන. හැබැයි ඔයාලා දන්නව ඇතිනේ Fox චරිතවල අයිතිය දැන් Disney එකට තියෙන බව. ඒ නිසා MCU එකෙන් මේ චරිත මතු වෙන්න පුලුවන්.
මෙතනදි ක්වික්සිල්වර්ගේ නැවත පැමිණිම නොදන්නවා වගෙයි වොන්ඩාගේ හැසිරීම අනුවනම්. හැබැයි වොන්ඩා මේ කතාංගය තුළ එයාගේ පුතාලට කියනවා, එයාට සහෝදරයෙක් හිටිය බවත් එයා ඉතා ඈතක ඉන්න බවත්. ඉතින් වොන්ඩාගේ මේ සහෝදර කැක්කුම, තමන්ගෙ සහෝදරයා දකින්න තියෙන වුවමනාව ඇය නිර්මාණය කළ යථාර්තයට බලපෑවද? ඇගේ ඒ තදබල වුවමනාව නිසා මේ බහුවිශ්වයන් තුළින්, ඒ කියන්නේ මල්ටිවර්ස් එකේ වෙනත් තැනකින් ක්වික්සිල්වර් කෙනෙක්ව නොදැනුවත්ව හෝ හිතාමතා ඇය ගෙන්නුවද? පිළිතුරු ඉදිරි කොටස්වලින් ලැබේවි කියලා හිතමු.
කොහොමවුණත් මේ කතාවට මල්ටිවර්ස් එක සම්බන්ධයක් වුණොත් පුදුමයක් නෙමෙයි. ඔයාලා දන්නව ඇතිනේ දැනටමත් Doctor Strange in the Multiverse of Madness (2022) එක මේකට සම්බන්ධ වෙයි කියලා Kevin Feige ලොක්කා කියලා තියෙනවා කියලා.
කතාව ඉදිරියට යද්දි මොනවා වෙයිද කියලා බලන්න එහෙනම් හයවෙනි කොටසත් බලන්නකෝ. 🙂
එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
සිංහල උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…